මුස්ලිම් වරු නව වසර සැමරිය හැකි ද?
නව වසර සැමරීම ක්‍රිස්තියානි ආගමිකයන්ගේ ආගම දහමට අදාළ සංස්කෘතියකි.
මුස්ලිම් වරු පවා ධර්ම දූතයෙකු යැයි විශ්වාස කරන නබි ඊසා-යේසුස් (අලෛ) තුමාණන්ව ක්‍රිස්තියානි ජනතාව දෙවියන් කොට සලකති. ක්‍රිස්තියානි චාරිත්‍රයට අනුව, ජනවාරි මස පළමු වන දිනය වන්නේ යේසුස් වහන්සේ (උපතින් දින අටක් ගෙවුණු) දිනය වන අතර, එදින දී එතුමාට යේසුස් යන නම තබන ලදැයි (ලූක් 2: 21 බලන්න.) කිතු ජනතාව විශ්වාසය කරති.
එතැන් පටන්, ජනවාරි මස පළමු වන දිනය වසරේ පළමු දිනය ලෙස සමස්ත ලෝකවාසී ජනතාව විසින් ගෝලීය සම්මතයක් බවට පත් කොට ලොව පුරා එය ප්‍රධාන උත්සවාංගයක් ලෙස සමරනු ලබයි.
මෑත අතීතයේ දී ඊසා - ජේසු (අලෛ) තුමන්ගේ උත්පත්තිය සිදු වූ දිනය දෙසැම්බර් 25 වැනි දා යැයි ලොව පුරා මතයක් ව්‍යාප්ත කරවන ලදී. එහෙත් එදින යේසුස් වහන්සේගේ උපත සිදු විය නොහැකි බවට තර්ක කරන පිරිසක් කිතු ජනතාව අතර ම සිටිති.
ඊසා-ජේසු (අලෛ) තුමන්ගේ උපත දෙසැම්බර් 25 වන දින හා සම්බන්ධ වී ඇත්තේ කවර හේතුවක් නිසා ද යන්නත්, සැබෑ ලෙස යේසුස් වහන්සේ උපන් දිනය කවරක් ද යන්නත්, තවමත් මතභේදාත්මක කරුණක් වන බව මෙයින් පෙනී යයි.
යේසුස් වහන්සේගේ උපත සිදු වූ දිනය සම්බන්ධයෙන් මත භේද කිහිපයක් ම පවතී. බයිබලයේ නව ගිවිසුමේ ද මේ පිළිබඳව නියත දිනයක් සඳහන් නොවන බවත් මෙහිදී සඳහන් කළ යුතුය. මෙය කෙසේ වෙතත් ජනවාරි මස පළමු වන දිනය සැමරීම කිතු ජනතාවට අදාළ චාරිත්‍රයක් වන බව ඉතා හොඳින් පැහැදිලි ය.
ඉස්ලාම් දහමට අනුව නව වසර සැමරීම මුස්ලිම් වරුන් විසින් සිදු නොකළ යුතුය. එයට හේතු කිහිපයක් ම ඇත.
පළමු හේතුව
අන්‍යාගමික චාරිත්‍ර මුස්ලිම් වරුන් විසින් අනුගමනය නොකළ යුතු බවට ඉස්ලාම් දහම තුළ මග පෙන්වීමක් ඇත.
නබි නායක (සල්) තුමාණන් මෙසේ පැවසූහ.
(අන්‍ය) ආගමිකයින්ගේ චාරිත්‍ර වලට සමානව කටයුතු කරන කෙනෙක් අපට අයත් කෙනෙක් නොවේ. (මූලාශ්‍රය : අබු දාවූද් 3512)
එබැවින් අපට නව වසර සැමරිය නොහැක.
දෙවන හේතුව:
නව වසර සැමරීම බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවේ.
නව වසර සැමරීම බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවේ. නව වසරක උදාව ප්‍රීතිමත් ව සැමරීමට තරම් එහි ඇති සුවිශේෂත්වය කුමක් ද? නව වසරක් ඇරඹීමෙන් ජනතාවට ඇති ආනිශංස, වාසිය හා ප්‍රතිලාභය කුමක් ද? එයින් ජනතාවට කිසිඳු යහපතක් නැත.
නව වසරේ උදාව සමරා ප්‍රීතිමත්ව සිටීමෙන් වසරේ අනෙකුත් දවස් වල ද සතුටින් සිටිය හැකියැයි මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයක් ජනතාව අතර පවතී. වසරේ පළමු දවස සැමරිම තුළින් අනෙකුත් දවස් වල සතුටින් ජීවත් විය හැකියැයි අපගේ ප්‍රායෝගික ජීවතය අපට පවසනවා ද? ජීවිතයේ යහපත හෝ අයහපත හෝ අප සිතන පරිදි සිදු නොවේ. දිනක යහපතක් සිදු වූවා නම් තවත් දිනක අයහපතක් සිදු වේ. එයයි දේව නියමය. ජීවිතයේ යථාර්ථය. සියල්ල දේව නියමය අනුව ම සිදු වේ. එසේ තිබියදී පළමු දවස සතුටින් සිටියා නම් වසර පුරා ම සතුටින් සිටිය හැකි යැයි සිතීම සැබවින් ම අනුවණ කමකි.
එසේ නම් අපි නව වසර සැමරිය යුත්තේ ඇයි? බුද්ධිමතුනි, සිතන්න!
තෙවන හේතුව:
ඉස්ලාම් දහම තුළ මුස්ලිම්වරුන්ට වෙන ම සැමරුම් දිනයන් නියම කර ඇත. ඒවා යථාර්ථවාදී සැමරුම් දිනයන් වේ.
මුස්ලිම් වරුන්ට සැමරීම සඳහා ඉස්ලාම් දහම මගින් හඳුන්වා දී ඇත්තේ දින දෙකක් පමණි. ඒවා මුස්ලිම් ජනතාවට වඩාත් ප්‍රමාණවත් ය. එමෙන්ම අනෙකුත් උත්සව දින සැමරීම මුස්ලිම් වරුන්ට සපුරා තහනම් ය.
එකල මදීනා නගරයෙහි වාසය කළ ජනතාව කිසිඳු පදනමකින් තොරව දින දෙකක් සමරමින් සිටිය හ. ඒ සැමරුම් සියල්ල අත් හැර දමා හජ් උත්සව දිනය සහ රමලාන් උත්සව දිනය පමණක් සමරන මෙන් නබි නායක (සල්) තුමාණන් නියෝග කර ඇත.
අනස් (රලි) තුමා මෙසේ පැවසීය.
නබි නායක (සල්) තුමාණන් මදීනාවට පැමිණිය හ. (මදීනා නගරයෙහි වාසය කළ) ජනතාවට දින දෙකක් (උත්සව දින) විය. ඒ දිනයන් හි ඔවුන් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටිය හ. 'මේ දිනයන් කුමක් ද?' යි නබි නායක (සල්) තුමාණන් විමසූ හ. 'අනුවණ යුගයේ අපි මේ දින වල ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියෙමු'යි ඔවුහු පැවසූ හ. එවිට නබි නායක (සල්) තුමාණන් 'අල්ලාහ් මේ දිනයන් වෙනුවට (සැමරීමට) වඩා හොඳ දිනයන් දෙකක් නුඹලාට පිරිනමා ඇත. ඒවා හජ් උතසවය හා රමලාන් උත්සවයන් යැ' යි පැවසූ හ. (මූලාශ්‍රය: අබූ දාවුද් 959)
සිව්වන හේතුව:
නව වසර සැමරීමේ නාමයෙන් සිදු වන අමනෝඥ ක්‍රියාවන් එය සැමරීම හෙළා දැකිය යුතු බව අවධාරණය කරයි.
නව වසර සැමරීම යන බටහිර සංස්කෘතිය අප රට තුළ පැතිරීමත් සමඟ ම එයින් මෙරටට එල්ල වී ඇති බලපෑම කියා නිම කළ නොහැකි තරම් පවතී. එදින මධ්‍යම රාත්‍රියේ දුරාචාරයේ හා මත් පැන් භාවිතයේ අසීමිත ව ජනතාව නියැලී සිටින අයුරු ද, කාන්තාවන් විනයෙන් තොරව හැසිරෙන අයුරු ද, නව වසරෙහි උදාව සමඟ ම බොහෝ විශාල ගිණිකෙළි සංදර්ශණයන් හි කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අපතේ යෑම ද යනා දී වශයෙන් නොයෙකුත් දුස්සීල ක්‍රියාවන් සිදු වෙමින් පවතී. මේ සියල්ල සිදු වන්නේ ද නව වසර සැමරීමේ නාමයෙනි. එබැවින් නව වසර සැමරීම අපි ප්‍රතික්ෂේප කළ යුතු ය.
ජනවාරි මස පළමු වන දින පමණක් සිදු වන දුර්විපාක විපත්තිය කෙබඳුද යන්න ජාතික හදිසි අනතුරු සේවය මගින් ප්‍රවෘත්ති වල දන්වන තොරතුරු මගින් හා රෝහල් වල හදිසි ප්‍රතිකාර ඒකකය දෙස විමසිලිමත්ව පරීක්ෂා කරන කෙනෙක් වටහාගනු නිසැකය.
විශේෂයෙන් ම ගිනි කෙළි වලින් පරිසර දූෂණය එක් රැයකින් වසරක් පුරා සිදුවන පරිසර දූෂණයට වඩා අධික පරිසර දූෂණයක් සිදු වන බව තිත්ත වූ ඇත්තකි. අයහපත ඇස් පනා පිට දකිද්දීත් තවමත් ජනතාව එයින් මිදුණේ නැත. එබැවින් මානව සංහතියට හා පරිසරයට හානි ගෙන දෙන මෙකී නව වසර සැමරුම ඉස්ලාම් දහම සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත.
නව වසර සැමරීම ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවක් බැවින් එයට සුබ පැතීමත් නොකළ යුතු ය. 'සුබ අලුත් අවුරුද්දක් වේවා!, සුබ නව වසරක් වේවා!' යනා දී වශයෙන් සුබ පතන අය ඉහත දැක් වූ සියලු මානව හා සමාජ දූෂණ ක්‍රියාකාරකම් වලට සහය දුන් අය බවට පත් වනු ඇත. එබැවින් අලුත් අවුරුදු සුබ පැතුම් පැවසීම ඉස්ලාම් අනුමත නොකරයි.
ඉස්ලාමීය නව වසර සැමරිය හැකි ද?
ඉස්ලාම් දහමේ තහනම බටහිර ජාතිකයින්ගේ නව වසර සැමරීමටයි, එබැවින් මුස්ලිම්වරු මුහර්රම් පළමු වන දින ඉස්ලාමීය නව වසරක් ලෙස සැමරිය හැකියැයි වැරදී අවබෝධයකින් මුස්ලිම් ජනතාව විසින් මුහර්රම් පළමු වන දින නව වසරක් ලෙස සලකා එදින 'නව වසර සුබ පැතුම්' යයි ආචාර කරන පුරුද්දක් යම් යම් ප්‍රදේශ වල දැකගත හැකිය. මෙසේ ඉස්ලාමීය නව වසරක් සැමරීමට සර්ව බලධාරී අල්ලාහ් හෝ නබි නායක (සල්) තුමාණන් හෝ කිසිඳු අයුරකින් මග පෙන්වා නැත. මෙය අටුව කඩා පුටුව සෑදූ කථාවකි. ඉහත ජනවාරි පළමු දින සැමරීමට අප විසින් ඉදිරිපත් කළ තර්ක වලින් බොහෝමයක් මුහර්රම් පළමු දින සැමරුමටත් අදාළ වන බව බුද්ධිමතුන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. ඉහත සඳහන් කර ඇති කරුණු අනුව ඉස්ලාමීය නව වසර සැමරීම ද, එයට සුබ පැතීම ද ඉස්ලාම් දහම විසින් තහනම් කරන ලද ක්‍රියාවක් බව තහවුරු වේ.
එබැවින් ජනවාරි පළමු දින නව වසර සැමරීමෙන් අපි සියලු දෙනා ම වැළකී ආගම දහම මෙන් ම අපගේ වටිනා ජීවිත, ධන දේපළ මෙන් ම මිල කළ නොහැකි පරිසරය රැක ගනිමු!!!
--අබ්දුර් රාසික්
